Music Player

Sunday 18 June 2017

මගේ පුංචි රෝස මලේ - ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.


මේ මයුරපාද මිතුරෝ හරහා අපි කතා කරන විසිවෙනි(20) ගීතයයි. තොරාගත්තේ තවත් ඔබ ආදරය කරන ඉතා ජනප්‍රිය ගීතයක් ලියවුණු සත්‍ය සිදුවීමක්.

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැසයන්න

මගේ පුංචි රෝස මලේ.....

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවා නම්
ආසයි මං කවුළු පියන් හැරල තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

මගේ පුංචි රෝස මලේ.....


ස්වාධීන රූපවාහිනියෙන් මුලටම බලන්න ලැබුණු මේ මියුසික් වීඩියෝ එක දැකපු හුඟක් අය හිතුවේ මේ ගීත පිටුපස තියෙන කතාවත් මේකමයි කියලා. ඒත් ඒකෙ ඇත්තම පසුබිම් කතාන්දරය මෙන්න මේ වගේ එකක්. 

සංගීත ක්ෂේත්‍රයේ ඉන්න එක්තරා ගායකයෙක් එයාගේ  සංගීත පන්තිය පැවැත්වූයේ කළුතර පැත්තේ. ඔහු තරමක් වැඩිමහල් වයසේ ඉන්න කෙනෙක්. ඉතින් දවසක් මෙයාගේ පන්තියට බොහොම ලාබාල ගැහැණු ළමයෙක් ආවා වයලින් වාදනය ඉගෙනගන්න.

කොහොම හරි ටික දවසක් යනකොට වයසින් වැඩි කෙනෙක් වුණත් ඒ යුවතිය ගැන මේ ගායකයාට  ආදරයක් ඇතිවෙනවා. ඇය පන්ති ආවේ නැති දවසට පන්තිය පවත්වන්නවත් ඔහුට හිත් දුන්නේ නැහැ. ඇයට පන්තියේ වැඩවලට උදව් කරත්, වචනෙකින්වත් නොගැළපෙන දෙයක් කියන්න ඔහු වග බලාගත්තා. ඒ නිසා ගුරුවරයගේ හිතේ තමන් ගැන තියෙන අසීමිත ආදරය ගැන ඇය හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ.

ප්‍රවීණ ගීත රචකයෙක් වන ධම්මික බණ්ඩාරයන් ඔහුගේ මිතුරෙක්. ඒ නිසා ලාබාල තරුණියකට හිතින් ආදරය කරන මේ සංගීත ගුරුවරයාගේ  කතාව ධම්මික බණ්ඩාරයන් පවා දැනගෙන හිටියා. එක දවසක් ඔහු මේ ගායකයාගේ ගෙදරට යන්නේ ගීතයකට තනුවක් හදාගන්න. ඒත් ඔහු ගෙදර හිටියේ නැහැ. කොහොමහරි ධම්මික බණ්ඩාරයන් ඔහුව හොයාගන්නේ ඒ පැත්තේ තිබුණු රෙස්ටුරන්ට් එකකදී.

සංගීතයේ හසල දැනුමක් තිබුණු මේ සංගීතඥයා රෙස්ටුරන්ට් එකකට වෙලා ආදරයෙන් පරාද වුණු තරුණයෙක් වගේ බොන හැටි දැක්කම ඔහුට පුදුම හිතුණා. ඒත් හේතුවත් ඇත්තටම එහෙම දෙයක් තමයි. අර තරුණියගේ විවාහයට ආරාධනා කරලා ඇරයුම්පතක් ඔහුටත් ලැබිලා. ගුරු ගෞරවයෙන් යුතුව, දෙපා නැමදලා ඇයගේ අතින්ම තමයි මේ ආරාධනාව ඇය කරලා තියෙන්නේ.

ඉතින් ඔහුගේ ඒ විරහව පද පෙළට අමුණලා, ධම්මික බණ්ඩාරයන් රචනා කරපු මේ ගීතය අපට අහන්න ලැබෙන්නේ අමරසිරි පීරිස් මහත්මයාගේ ගැඹුරු හඬින්.

*******

ගීතය රසවිදින්න පහතින් 



ගීතය බාගතකරගන්න පහතින්

 ⇝ DOWNLOAD MP3 ⇜

******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.


0 comments:

Post a Comment