Music Player

Thursday 13 July 2017

කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගහක මල් පිපිලා ගීතයේ ගීතයේ තේරුම.




ඔයා වැඩියෙන්ම කැමති ගායකයා හෝ ගායිකාව කවුද ?. මම මෙහෙම ඇහුවොත් ඔයාලා ගොඩක් උත්තර දෙයි. ඔයා කැමතිම ගීත රචකයා හෝ රචිකාවිය කවුද?. මේ ප්‍රශ්නයට නම් ගොඩක් අයට උත්තර දෙන්න අමාරුයි. මොකද සිංදු ගැන දැනගත්තට ඒවා ඇහුවාට අපි ගොඩක් අය ඒ ගීතයේ කටහඩට වඩා එහා දෙයක් දැනගන්න , හොයන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.


මගෙන් කවුරු හරි වැඩියෙන්ම කැමති ගීත රචකයා , රචිකාවිය කවුද කියලා ඇහුවොත් මම නම් කියන්නේ ඒ "යමුනා මාලිනී" මහත්මිය කියලා. යමුනා මාලිනී මහත්මිය කියන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහතා වෙනුවෙන් බොහෝ ගීත රචනා කරපු රචිකාවියක්.

අද කතාබහට තොරාගත්තේ යමුනා මාලිනී මහත්මිය රචනා කරපු, කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන, ගුනදාස කපුගේ මහතාගේ සංගීතයෙන් නිර්මාණය වූ ගහක මල් පිපිලා කියන ගීතය.

- මයුරපාද මිතුරෝ -

මේ ගීතය රචනය සදහා  සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මය හරි අපූරුවට උපමා ලෙස යොදා ගෙන තිබෙනවා. මේ ගීතය ප්‍රේම ගීතයක්, නමුත් ගීතය තුළ කතාව නම් සම්මතයට පටහැනි දෙයක්.

" ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී "


පෙර කී ලෙසම ගීතය පරිසර වර්ණනා එකතු කරමින් යමුනා මාලිනී මහත්මිය හරි අපූරුවට රචනා කරලා තියෙනවා. ගීතයේ පලවෙනි පද පේලියෙන් කියවෙන විදිහට ගීතයේ සදහන් කරන පුද්ගලයා ප්‍රේම කරනවා. නමුත් ඔහුට ඒ ප්‍රේම කීරීමට හේතුව නම් හරිහැටි පැහැදිලි නෑ.

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්


ලෝක ධර්මයට අනුව නම් කාන්තාරයේ වැලි ආදරය කරන්නේ ඉරට වෙන්න ඇති. ඒත් ඒ පිච්චෙන , පිරිරෙන වැලි කැට කාන්තාරයට වැටෙන වැස්සකට ආදරය කරන්න බැරිද?. මම හිතනවා හැමදාම වැටෙන ඉරෙන් පිච්චි පිචිවී තියෙන වැලි කැට කවදා හෝ දවසක ඒ කාන්තාරයට වැටෙන වැස්සකට පණ වගේ ආදරය කරයි කියලා. ගොඩක් අයට මේ දේ තේරෙන්නේ නෑ. ඒ ඇයි මම දන්නෑ. නමුත් මගේ හිතේ ඔබට තියෙන ප්‍රේමයත් අන්න ඒ වගේ , හරිම විරල දෙයක්. ඒත් කාටවත් තහනම් කරන්න බෑ.

- මයුරපාද මිතුරෝ -

ගීතයේ මේ කොටසින් කියවෙන පරිදි  අසම්මත ප්‍රේමයක ඉගි අපට දෙනවා. සරලව කියනවා නම් කාන්තාවක් තවත් කාන්තාවකට හෝ පිරිමියෙකු තවත් පිරිමි පුද්ගලයෙකුට කරන ප්‍රේමයක් සම්බන්ධව පරිසර උපමා සහිතව අපට පහදා දෙනවා.

සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්


අර අසම්මත සම්බන්ධය පිළිබඳ අපට දීපු ඉගි මෙතනදී තහවුරු කරනවා. රාත්‍රියේ පායන තරු හරිනම් ආදරය කර යුත්තේ රාත්‍රියේ පායන හදටයි, නමුත් ඔය අහසේ එක තරුවක් හරි නැතිව ඇතිද දවාලට පායන හදට පෙම් කරන.. එහෙම වෙන්න පුලුවන් නේද?.

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්


අපට තේරෙන විදිහට නම් තවමත් ගීතයෙන් කියවෙන තැනැත්තා තමන්ගේ මේ අසම්මත ප්‍ර්මය ප්‍රකාශ කරලා නෑ. ඒ ප්‍රකාශ කිරීමට යම් බියක් දක්වන නිසා විය හැකියි. ⁣මොකද මෙය සම්මතයට පටහැනි අසම්මත දෙයක් නිසා. ඉතින් මේ ප්‍රේමය ප්‍රකාශ කිරීමෙන් අදාල පුද්ගලයා පුදුමයට පත්වීම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ ගීතයේ කියවෙන චරිතයත් යම් පසුබෑමකට ලක්වෙනවා මේ අසම්මත ප්‍රේමය ප්‍රකාශ කිරීමට. නමුත් ඔහු හිතින් බොහෝසේ ප්‍රේම කරනවා.

- මයුරපාද මිතුරෝ -

බොහේ දෙනෙකු කියන විදිහට ලංකාවේ පලවෙනි වරට අසම්මත ප්‍රේමය පිළිබඳ ලියවුණු ගීතය මේ ගීතය කියලා අපට හදුන්වන්න පුලුවන්. නමුත් ඇතැම් පිරිස් මේ ගීතයේ නිවරදි තේරුම මේක නෙවෙයි කියලා තර්ක කරන අවස්ථද නැතුවාම නොවෙයි. ඒ වගේම ගීතය වෙනුවෙන් නිර්මාණය වූ රූප රචනයේද එවන් අසම්මතයක් සම්බන්ධ දර්ශන ඇතුළත් වී නැහැ. ( ඒ වීඩියෝ එක පහලින් බලන්න පුලුවන් )

එක්තරා ගීත විචාරකයෙකු ඔහුගේ වැඩසටහනකදී කියා සිටියේ මේ ගීතය අප පෙර කී අසම්මතයට සම්බන්ධ ගීතයක් බවයි.

ඒ කෙසේ නමුත් අප ප්‍රවීණයන් ලෙස පිළිගත හැකි රචකයන් හෝ රචිකාවියන්ගේ නිර්මාණය පිළිබඳ සුළුවෙන් හෝ යම් අධ්‍යනයක් කළ යුතුය යන්න මේ ගීත වලින් අපිට පහදලා දෙනවා.

ගීතයෙන් කියවෙන දෙයට වඩා බොහෝ එහා ගිය දෙයක් ඇති ගීත බොහෝමයක් සිංහල ගීත තුළ පැවතියත් , ගීතය හදවතින්ම රසවිදින්න අපි ඒ ගීතයේ නිවරදි අරුත හෝ ගීත රචනයේ දී සිදුවූ රසවත් සිදුවීම් පිළිබඳ නිසි අවදානයක් නොදැක්වීම කනගාටුවට කරුණක්.

සිංහල ගීත ගැන විචාරාත්මකව සහ ගවේෂණාත්මකව තොරතුරු සොයා බලන්ට කැමති ඔබ වෙනුවෙන් ඉදිරියටත් අප " මයුරපාද මිතුරෝ " හරහා ලිපි ඔබට ලබාදෙන්න සූදානම්. ඉදිරියටත් රැදීසිටින්න අපත් සමග.

යමුනා මාලිනී පෙරේරා මහත්මිය

කරුණාරත්න දිවුල්ගනේ මහතා

ගුණදාස කපුගේ මහතා 

ගීතය රසවිදින්න 

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

2 comments:

  1. ස්තුතියි හදවතින්ම දැනුවත් කිරීමට

    ReplyDelete
  2. . මෙය සරලව කියනවා නම්. පිරීම්න් ආදරය කරන්නෙ. සියුමැලි අදරනිය ගැහැනියන්ට. සදක් වැනි ඍම්‍ය ගැහැනියකට උවද හිරි මෙන් නිතර දැවෙන කෙන්ති යන . යම් ගින්නකින් දැවෙන ගැහැනියක ආදරය කල හැකි එකම පිරීමීයෙක් සිටිය හැකි බවයි . ඒ මම බවයි

    ReplyDelete