Music Player

Sunday 6 August 2017

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ ගීතයේ අරුත දැනගන්න ලිපිය කියවන්න.




1949 දෙසැම්බර් 19 දින කොළඹදී  උපත ලැබූ පැට්රිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ යනු සිංහල ගීත ඉතිහාසයේ බිහිවූ අති විශිෂ්ඨ ගායකයෙකු ලෙස කිසිදු තර්කයකින් තොරව අපට පිලිගත හැකි කරුණක්.

1970 වසරේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා එනම් සුනිල් එදිරිසිංහ මහතාගේ සොහොයුරා අධ්‍යක්ෂණය කළ  " මාතර ආච්චි " චිත්‍රපටයට ගීත ගායනයෙන් ප්‍රථම වරට ගායකයෙකු ලෙස එක්වන සුනිල් එදිරිසිංහ මහතාගේ ජනප්‍රියත්වය අද වන විටත් කිසිදු වෙනසක් සිදුවී නොමැත.


- මයුරපාද මිතුරෝ -

සුනිල් එදිරිසිංහ මහතා පෞද්ගලිකවම මේ ලිපිය ලියන මාගේ ප්‍රියතම ගායකයෙක්, මයුරපාද මිතුරෝ හරහා සිංදු ගැන  කතාබහට තෝරාගත්තේ සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන චංද්‍ර මංඩලේ සැතපුනු පුංචි සාවියේ කියන ගීතයයි.

------------------

රත්න ශ්‍රී විජේසිංහ මහතා අතින් ලියවුණු මේ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ සංගීතයෙන් රසවත් වෙනවා. මේ ගීතය සත්‍ය සිදුවීමක් නිසා ලියවුණු ගීතයක් කියලත් සමහරු කීවත් ඒ ගැන නම් හරියටම කියන්න මට හැකියාවක් නෑ.

පියෙකුගේ වියෝවක් තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. ඒ තමන්ගේ දුව හොර රහසේම කිසිදු අයුරකින් නොගැලපෙන පුද්ගලයෙකු එක්ක හොර රහසේම පැන යාම හේතුවෙන්.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ


පියෙකුගේ වැඩි අවදානයක් වගේම වැඩි ආදරයක් ආරක්ෂාවක් ලැබෙන්නේ දියණියට. ඒ හේතුවෙන්ම  දියණියගේ මේ හිතුවක්කාර ක්‍රියාව ගැන ගොඩක් දුක් වෙනවා.

- මයුරපාද මිතුරෝ -

"දුවේ ඔයා මං ලඟ හරියට චන්ද්‍ර මංඩලයක ඉන්නවා වගේ හිටියේ. ඔයාට ඕන කරන හැම සැපතක්ම මම පුලුවන් උපරිමය දුන්නා. ඒත් ඇයි මේ වගේ මට නොකියාම යන්න ගියේ"

පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ


ලයිම් කාමරේ කියද්දී අපිට හිතෙන්නේ ටකරන් වලින් වට වෙච්චි පුංචි තැනක ඉන්න පවුලක් තමයි මේ කියලා. මොකද අපි ලයිම කියලා කියන්නේ ඒ වගේ තැනකට. නමුත් මෙතනින් ඒ වගේ තැනක් ගැන නම් නෙමෙයි අදහස් වෙන්නේ.

පියෙකු දියණියට තමන්ට ලබාදිය හැකි දෙයිනුත් එහා ගිය දෙයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙතනිනුත් ඒ ව⁣ගේ දෙයක් අදහස් වෙනවා. මේ ගෙදර මේ ගෙදර පසුබිම මගේ දුවට මදි, කොච්චර වස්තු දේපල තිබුනත් පියා ඒක දැක්කේ දියණිය ඉන්නේ ලයිමක වගේ.

- මයුරපාද මිතුරෝ -

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ


දියණියට වඩා හොද සමාජය ගැන අත්දැකීමක් පියෙකුට තියෙනවා. ඒ නිසයි සමාජයේ තම දියණියට සිදුවිය හැකි දේ පිළිබඳ පියෙකු වැඩි අවදානයෙන් ඉන්නේ. ඒ ගැන මේ පද පේලියෙන් අපිට තේරුම් ගන්න පුලුවන්.

දුවේ මම දන්නවා ඕවා ලාබ රත්තරන්. උබට ඔය තරුණයා කියපු පෙම් කතා , මවපු ලෝක ඕවා ඔක්කෝම බොරු. ඒ සුරංගනා ලෝකයත් විතරයි. දුව බලාපොරොත්තුවෙන සෙනෙහසක් නම් ඔතන නෑ.  මොකද මම දන්නවා, ඔය විදිහට රැවටුන පලවෙනි කෙනා ඔයා නෙමයි.

උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ


ඒ රැවටුන ළමයින්ගේ අද තත්වය ගැන මම හොදට දන්නවා දුවේ. ඒ දූවරු අද විදින දුක ගැන මම දන්නවා. ඒ දරුවන්ගේ දෙමාපියෝ අද කොච්චර දුක් වෙනවා ඇතිද.. මට බය මගේ දුවේ උබටත් ඒ ටිකම වෙයි කියලා..

- මයුරපාද මිතුරෝ -

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ


මගේ දුව ගැන මට ලොකු විස්වාසයක් වගේම ආඩම්බරයක් තිබුනා. මම සමහර තරුණ ගැටව් ගැන පුංචි පුංචි සැක තිබුනත් මගේ දුව ගැන මට ලොකු විස්වාසයක් තිබුනා. මම හීනයතින් වත් හිතපු දෙයක් නෙමෙයි මේ වුනේ. මගේ රත්තරන් දුවේ මේ ගෙදර දොර උබට තාමත් ඇරලා මගේ දුවේ..

පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

ගීතය රසවිදින්න...


සිංදු ගැන කතාබහට තවත් ගීතයකින් හමුවෙමු. 

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment