Music Player

Sunday 11 June 2017

ජනප්‍රිය⁣ බෝදිලිමා අදෘශ්‍යමාන බලවේග⁣ය පිළිබඳ තොරතුරු.



අදෘශ්‍යමාන බලවේග ගැන අපි අසා ඇත. මෝහිනී , සීරි යකා , බෝදිළිමා , උලමා ,  කළු කුමාරයා සහ තවත් බොහේ බලවේග ගැන අපි යම් යම් කතා අසා ඇත. ඒ අතරින් මෙම ලිපිය හරහා බෝදිළිමා ගැන තොරතුරු කතා කරන්නට බලාපොරොත්තු වෙනවා..



" අතීතයේ එක් තරුණ අඹුසැමි යුවලක් වාසය කරමින් සිටින අතර කලක් ඇවෑමෙන් බිරිඳ දරුවකු ලබන්නට ගැබ්බරව සිටියාය. නමුත් කිසියම් උපද්‍රවයක් හේතුවෙන් ගැබිනියගේ කුස තුළම දරු සිඟිත්තා මිය ගිය අතර වේදනාවෙන්, ඇඹරී, ඇඹරී අඳෝනාව නඟමින්ම ඇය ද අවසන් හුස්ම හෙළුවාය. මේ නිසා ගැබ්ගත් කත වේදනාවක් තබා මියැදෙන්නට මුල් වුණ තම ස්වාමියාට වෛර බැඳගත් අතර පිරිමි සංහතියටම ද්වේශ කරමින් පසුව ”බෝදිලිමා” ආත්මය ලබා පිරිමින් පසුපස පළිගන්නටම කෑගසමින් එන බවයි එම ජනකතාවෙන් කියැවුණේ.”

මේ බෝදිලියා නැතිනම් බෝදිළිමා නැමති අදෘශ්‍යමාන බලවේගය බිහිවූ ආකාරය ගැන කියවෙන ගැමියන්ගේ මතයයි...

බොදිලිමාගේ රුව දකින්නට අපහසු වුවත් හඩ නම් අසන්නට පුලුවන්..මැදියම් රැයේ ප්‍රසූත වේදනාවෙන් සිටින කාන්තා කෙදිරිල්ලකට සමාන හඩක් පිට කරන බෝදිලිමා ඇතමුන් කියන ආකාරයට " අනේ අපොයි අම්මා " යන හඩට සමාන කෙදිරිල්ලකි. ආරම්භයේ ඉතා සෙමින් ඇසෙන මේ හඩ ක්‍රමයෙන් වර්ධනය වී ඝෝෂාවකට පත්වෙයි.

බෝදිලිමා හෙවත් බෝදිලියාගෙන් කාන්තාවන්ට හිරිහැරයක් නැත, ගැමියන් කියන පරිදි බෝදිලිමා කාන්තාවන් හට බියක් දක්වයි. ඔහුන් සොයන්නේ පිරිමින්වය. තෙල් ටිකක් ජීවම් කර තමාගේ දුක නිවා ගන්නට බෝදිළිමා සූදානම් බවත් ජනප‍්‍රවාදයේ ජනප්‍රවාදයේ ඇත. එසේ මෙම අදෘශ්‍යමාන බලය තමගේ දුක කියාගන්නට පිරිමින් සොයා ආවත් ඔවුන් මීට දක්වන බියපත් බව නිසා ”බෝදිලිමා” විශ්වාසය තව තවත් ගුප්ත ජනක වෙයි.

😎 මයුරපාද මිතුරෝ 😎

උලමා සහ බෝදිලිමාගේ හඩට ගැමියන් බියක් දක්වයි.. උලමා යනු පක්ෂියෙකුවන අතර ගහක සිට හෝ යම් ඉහල ස්ථානය සිට හඩ නඟයි. නමුත් බෝදිළිමා කෑගසන්නේ බිම සිටය.

පිටිසර ගම්වල මේ හඩ ඇසෙන විට පිරිමින් නිවස තුළට යවා බිම අතුගාන කොස්ස , ඉඳල හෝ ඉලපත ගෙන ඊට මූත්‍රා කර එලියට එන කාන්තාව දුටු සැනින් මේ හඩ අතුරුදහන් වෙයි. තවද පරුෂ වචන කියා කෑ ගැසීම සහ කාන්තාවන් විසින් දොස් පැවසුමෙන්ද මෙම හඩ අතුරුදහන් වේ.

බෝදිලිමා ආත්මය වැළඳ නොගැනීමට හොඳම කටයුත්ත නම් ”බෝදිලිමා” ආත්මය වැළැක්වීම බව ද ජනපුවත කියයි.

මේ සඳහා කළ යුත්තේ ගර්භණී කාන්තාවක් මිය ගිය පසු ඇය මිහිදන් කරන්නට පළමුව ඇගේ උදරය මත බුලත් කොළයක් තබා දෙකට ඉරා දැමීමයි. එයින්ම ඇය බෝදිලිමා ආත්මය වැළඳ නොගන්නා බව කියැවෙයි.

අතීතයේ ලක්දිව සිරකරුවෙකු වූ රොබට් නොක්ස් පවා බෝදිලිමා සම්බන්ධ ඔහුගේ අත්දැකීම් ඔහු ලියන ලද පොතෙහි සදහන් කර ඇත.

" යකෙකු රාත‍්‍රී කාලයේ නිතරම නඟන හඬක් මා ද නිතර අසා ඇති බව මෙහි ලා පළ කළ යුතුය. වරෙක බල්ලකු නඟන අදෝනාවක් සේ ඇසේ. මේ අමිහිරි හඬින් කිසිවකුටත් විපතක් වන බව නම් මම නෑසුවෙමි. එහෙත් මේ හඬ නම් යකකුගේම යැයි කීමට හේතු කීපයක් වෙයි. එනම් මේ හඬ නොයෙක් ගම් වලින් ඇසීමයි. ඒ වගේම මේ හඬ නඟන වෙනත් සත්වයෙක් මේ ද්වීපයේ නොවීමයි. මේ හඬ ඇසෙත්ම මිනිසුන් හා ගැහැනුන් ”ගෙරි මස්කන වලා. තෝ හැඳි ගෑවෙයි. නොදකින් විතරක්? දෑහැට නොපෙනී පළ?” යයි කියමින් ශාප කරති. එකෙනෙහිම මෙම අඳෝනාව නම් අතුරුදන් වෙයි "

මීට අමතරව * එච්. ජී වෙල්ස් මහතාද ⁣ඔහු රචිත පොත් හරහා බෝදිලිමා සම්බන්ධව විස්තර කර ඇත.

එක්තරා පුවත්පතක ගලිගමුව ආසන්න ප්‍රදේශයක බෝදිලිමෙකුට කොටු වූ අයෙකුගේ අත්දැකීම් පිළිබඳව මෙලෙස විස්තර කර තිබුනා.

" එදා වැහිබර අඳුරු දිනයකි. වරින් වර වැහි වලාකුළු අතරින් මතුවන සඳ එලිය ගමට මඳ ආලෝකයක් ලබා දී තිබිණ. උස් වූ ගොවිපළෙහි නිදා සිටි මේ ගොවිමහතාට මැදියම් රැයේදී අහම්බෙන් මෙන් ඇසුන කෙඳිරිළි හඬක් නිසා අවදිවිය. ටිකෙන් ටික මේ අමිහිරි වේදනාකාරී හඬ ඔහුගේ නිවස දෙසට එන බව හැඟිණ. ප‍්‍රසව වේදනාවෙන් දඟලන ගැබිණියකගේ විලාපයට සමාන අඳෝනාවක් රැුගත් එය මිදුල අසලටම ළඟාවෙන බවයි ඔහුට හැඟී ගියේ. මහත් බියට පත් ඔහු ගෙපිළ මතම හිඳගත්තේය. පුදුමයකි. අඩියක් හෝ එකහමාරක උසක් ඇති තද කළුපාට ගුලියක් සේ පෙණුන එම රුව මිදුලේම පෙරළෙන්නට පටන් ගත්තේය. තමා දෙසත්, අවටත් බලමින් හැඬ තැලූ එම අඳෝනාව හමුවේ කිසිවක් කරකියාගන්නට අසමත් වූ ඔහු තම බිරිඳට කතා කළේය. ඇය ගෙතුළ සිට එලියට ආවේ ඉළපත ද රැගෙනය. ගෙතුළ සිට ඇයටත් මේ හඬ ඇසී ඇති සෙයකි.

පළ යන්ඩ පාහර බැල්ලී... තෝ මගේ මිනිහා ළඟට එන්නේ කැන්දා ගන්නැයි........” කියාගෙනම මිදුලට බසිද්දී ඒ බිහිසුණු දසුන මෙන්ම හඬ ද ඈතට දිව ගොස්ය. වෙනත් ඉසව්වකින් හඬ නිකුත් වෙනු ඇසිණ. "

බොදිළිමගේ හැඩරුව පිළිබඳ ඔහු විස්තර කර තිබුනේ මෙසේය.

" ඉත්තෑවෙක් වගේ. දෙපාවලින් ඇවිදගෙන වගේ ආවේ. දෙපැත්තටම පැද්දි පැද්දි. ඔළුව හරියට පුංචියි. පහළ ලොකුයි. හරියට මාලූ අල්ලන කරක් ගෙඩියක් වගේ.. (කරක් ගෙඩිය යනු පුංචි ලී කෝටු වලින් රවුමට සාදා ”පිරමීඩයක් සේ” මුදුනින් සිදුරක් ඇති මාලූ අල්ලන උපකරණයකි. රජරට වන්නිකරයේ වැව් වලදී අදත් දැකිය හැකිය)

ඇතැම් ප්‍රදේශවල වැසියන් මෙම බෝදිලිමා පලවා හැරීමට

" සබ්බ පාපස්ස අකරණං”
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝ දපනං
ඒතං බුද්ධානු ශාසනං”

යන ගාථාව භාවිතා කරන අතර මෙම ගාථාවටද බෝදිලිමා බියක් දක්වයි.

වත්මන් සත්ව විද්‍යාඥයන් බෝදිලිමා හදුන්වන්නේ කටුසු විශේෂයක් ලෙසයි. දෙහිවල සත්ව උද්‍යානයේ පවා බෝදිලිමා නමින් සතෙකු සිටිනවා.

බෝදිලිමා පිළිබඳ පර්යේෂණයක් කළ වනජීවි නිලධාරින් පිරිසකට පොලොන්නරුව වනාන්තරයකදී දැකගන්නට ලැබුනු බෝදිලිමා නම් අමුතුම වර්ගයේ උපද්‍රවයකින් නිර්මාණය වූවෙකි. ඌ දැකගන්නට ලැබී ඇත්තේ ද මැදියම් රැයකය. විපරමින් නිරීක්ෂණය කළ පසු දැකගන්නට ලැබුණේ ඇටි කෙහෙල් අහරට ගෙන වසුරු හෙළන්නට දඟලන උගුඩුවෙකු හෙවත් කළවැද්දෙකි.

එක්තරා ප්‍රදේශයක  ගුරුවරයකුට බෝදිලිමකුගේ අඳෝනාව අසා විදුලි පන්දම අල්ලා බැලූ කල දක්නට ලැබී ඇත්තේ ”කළවැද්දෙකුගේ ග‍්‍රහණයට අසු වී මරණ බියෙන් හඬ තැලූ හම්බාවෙකි

තවද එක්තරා මැනුම් කදවුරක පිරිසක් මේ හඩ ඇසී සිදුකල සොයා බැලීමෙන් දැක ඇත්තේ ගැබ්බර වී ගිය වැළහින්නක් පැටවු වැදීමට ආසන්නයේ පැවැති තද සීතල නිසා කඳවුරු මිදුලේ ඇවිලෙමින් තිබුණු ගිනි මැලය අසළට පැමිණ ප‍්‍රසව වේදනාවෙන් කෙඳිරිගාන බවයි.

මේ සියලු කතා සත්‍ය අසත්‍ය කෙසේ වුවත් අදෘශ්‍යමාන හඩ පිළිබඳ සොයා බැලීමට යාම නම් එතරම් හොද කටයුත්තක් නොවන බව නම් අපේ මතයයි...

******

මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment