Music Player

Sunday 3 September 2017

තිරය ඇරෙනවා තිරය වැහෙනවා - ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



ප්‍රවීණ ගී පද රචක බංඩාර ඇහැලියගොඩ මහතා විසින් රචිත ගීත කිහිපයක් ගැන අපි මයුරපාද මිතුරෝ හරහා පසුගිය දිනවල කතාබහ කරා. අද දවසේ කතා කරන්නට තෝරා ගත්තේ එතුමාට සුවිශේෂි වූ ඒ වගේම රසිකයන් අතර අදටත් නොවෙනස්ව පවතින ජනප්‍රියත්වයක් තියෙන " තිරය ඇරෙනවා " කියන ගීතයයි.

ඉතින් මම කලින් සදහන් කරා මේ ගීතය බංඩාර ඇහැලියගොඩ මහතාට සුවිශේෂි ගීතයක් කියලා, මම එහෙම කියන්න හේතුව තමයි මේ ගීතය එතුමා රචනා කළ මුල්ම ගීතය වීම.

- මයුරපාද මිතුරෝ -

ගීතය කාටත් සරලව තේරුම් ගත හැකි ලෙස ලියවිලා තියෙන නිසා මේ ලිපිය හරහා ගීතය ලියවුණු හැටි සහ ගීතයට සම්බන්ධ විශේෂ කරුණු කිහිපයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

ගීතය බංඩාර ඇහැලියගොඩ මහතා සුනිල් එදිරිසිංහ මහතාට ලබාදෙන්නේ ජයලත් මනෝරත්න මහතා හරහා, මොකද ඒ වෙනකොට බංඩාර මහතා සුනිල් මහතා දැන හදුනා ගෙන හිටියේ නෑ. ඒ විදිහට බංඩාර මහතා යවපු ගීත කිහිපයක් අතරින් "තිරය ඇරෙනවා" ගීතය සහ සුනිල් එදිරිසිංහ මහතාම ගායනා කරන " ලෝකයක් තනන්නට " කියන ගීත දෙක ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට තොරා ගෙන තියෙනවා.

                          - මයුරපාද මිතුරෝ -


1983 වසරේ නිර්මාණය වෙන මේ ගීතය බංඩාර ඇහැලියගොඩ මහතාගේ පෞද්ගලික අත්දැකීමකට අනුවයි රචනා වෙන්නේ. ඉතින් මොකක්ද මේ අත්දැකීම ???..... මේ බංඩාර ඇහැලියගොඩ මහතා ඒ ලබපු අත්දැකීම එතුමාගේ වචනයෙන්ම..

"මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාළයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එකේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් අවිත් හිටිය. ඒ අය තමයි බතේ උපත නැටුවේ.

මට එතකොට කල්පනා උනා, ' අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ.

සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?' කියලා. 1970 ගණන් වල මා ලබපු මේ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුනේ."

                         - මයුරපාද මිතුරෝ -

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී

තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...


රචනය - බංඩාර ඇහැලියගොඩ මහතා.
සංගීතය - ⁣රෝහන වීරසිංහ මහතා.
ගායනය - සුනිල් එදිරිසිංහ මහතා.

ගීතය රසවිදින්න.



ගීතය ගැන නිවරදි වැටහීමක් ඔබට ලැබෙන්නට අැති. ඒ වගේම මේ වගේ කරුණු කාරණා දැග ගෙන අහන ගීතයක රසය වෙනදාට වඩා රසවත්ව දැනෙනවා. ඉතින් මේ තොරතුරු තවත් කෙනෙකුට බලන්න share කරන්න කාරුණික වෙන්න.

ඉදිරියටත් අපි මේ වගේ ගීත ගැන රසවත් තොරතුරු පිළිබඳ කතා බහ කරන්න සූදානම් අඩවියේ ඉදිරි ලිපි පිලිබඳ තොරතුරු ලබාගන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට එකතුවන්න අමතක කරන්න එපා.....

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment