Music Player

Wednesday 27 September 2017

කුඩා දරුවන්ට වින කරන බාලගිරි දෝශය පිළිබඳ තොරතුරු.



ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන සමාජයකට උරුම ඇදහිලි සහ විස්වාස පවතී. වර්තමාන සමාජය තුලින් යම් මට්ටමින් මෙවන් දෑ ගිලිහී ගියත් ඇතැම් විස්වාසයන් රැල්ලට හෝ අන් පුද්ගලයන් සිදු කරන නිසා කළයුතු යැයි සිතා සිදුකළත් ඊට අදාල හේතුව පිළිබඳ දැනුවත් බවක් ඇත්තේ බොහෝ අඩු පිරිසකටය.


* බාලගිරි දෝශය අද නොවේ හෙට * අළුත උපන් කුඩා දරුවෙකු සිටින නිවසක මෙසේ සදහන් කර ඇති අයුරු ඔබ ඕනෑ තරම් දැක ඇති බවට සැකයක් නැහැ. පෙර කී පරිදිම මේ සමාජයේ වැඩි පිරිසක් තුළ එතරම් දැනුමක් නැතත් රැල්ලට හෝ අන් අය අය සිදු කරන නිසා වේවා කුඩා දරුවෙකු සිටින නිවසක මෙලෙස සදහන් කර තිබීම වර්තමානයේදීත් සාමාන්‍ය දෙයක්.



මෙසේ සිදුකරනු ලබන්නේ ගිරි දේවියගේ යක්ෂ ආත්මයෙන් කුඩා දරුවන් මුදවා ගැනීමේ අරමුණින්.


- මයුරපාද මිතුරෝ -

ගිරි දේවිය යනු කවුරුන්ද? . බාලගිරි දෝශය යනු කුමක්ද ?. මේ සම්බන්ධ සමාජයේ පවතින විස්වාසයන් මොනවාද ?. මෙම දෝශයෙන් මිදිය හැක්කේ කෙසේද ?. අද මයුරපාද මිතුරෝ හරහා අප ඒ පිළිබඳ අවදානය යොමු කරමු.

අතීත දඹදිව දන්ත පුරයේ සිංහ කුමාර රජු හා හංසවතී දේවිය නමින් රජයුවලක් විය. මෙම යුවලට රූමත් දූ කුමාරිකාවක් සහ පුත් කාමාරයෙකු සිටිය නමුත් අනාවැකි කරුවන් මේ දරුවන් පිළිබඳ පැවසූ අනාවැකිය එතරම් සුභවාදී දෙයක් නොවීය.

අනාවැකි කරුවන් පැවසුවේ, යම් දිනය රජ යුවළගේ පුත් කුමරු වූ දළ කුමරු තම එක් කුස උපන් සහෝදරිය සහවාසයට ගන්නා බවය. මෙම අනාවැකිය නිසා මහත් කම්පාවට පත් රජ යුවළ ඊට පිලියමක් ලෙස කුඩා කාලයේදීම තම  දූ කුමරිය ගිරි ලෙනක සගවා අගේ ආරක්ෂාව සදහා දැඩි මුරකාවල් යෙදූහ. මෙසේ ගිරි ලෙනක සැගවූ නිසාම ඇය ගිරි කුමරිය නම් විය.

කුඩා කාලයේදීම කුමරිය ලෙනක සැගවූ නිසා දළ කුමරු තමාට සහෝදරියක් සිටින බව දැන සිටියේ නැත.

- මයුරපාද මිතුරෝ -

දළ කුමරුට නිසි වයස සම්පූර්ණ වූ පසු සුදුසු විවාහයක් කර දීම පිනිස කුමාරිකාවන් පන්සියයක් රජ මැදුරට ගෙන්වීය.

මහත් උත්සවශ්‍රීයෙන් පැවති මෙය දැක බලා ගැනීමට මෙතෙක් ගිරි ලෙනෙහි විසූ ගිරි කුමාරිකාවටද බලාගැනීමට අවසර ලැබුණි. කෙසේ නමුත් එයින් සිදුවූයේ අනාවැකි කරුවන් පැවසූ දෙය සිදුවීමයි. පැමින සිට පන්සියයක් කුමරියන් අබිබවා  කුමරුගේ සිත තම සොහොයුරිය වූ ගිරි කුමරිය කෙරෙහි ඇදී ගියේය.

කුමරුගේ දැඩි ඉල්ලීම නිසාත් මෙය අසම්මත ඇල්මක් නිසාත් මොහුන් එක් කුස උපන් සහෝදර සහෝදරියන් ලෙස නොපවසා  විවාහ කර දීමට රජ යුවල තීරනය කලේය.

විවාහය සිදුවී කාලය ඇවෑමෙන් ගිරි කුමරිය ගැබ් ගත් අතර මෙතෙක් කළක් තම මවුපියන් සගවා ගෙන සිටි රහස කෙසේ හෝ කුමරියට අනාවරණය විය.


- මයුරපාද මිතුරෝ -

තමාගේ ස්වාමියා තමාගේම සොහොයුරා බවත් , තම කුස දරා සිටින්නේ තමාගේම සොහොයුරාගේ දරුවෙකු බවත් දැනගත් කුමරිය මහත් කම්පනයට පත් වී මාලිගය අසල ගසක ගෙල වැළලා සිය දිවි හානි කර ගත්හ.

මේ හේතුවෙන් කම්පාවට පත් දළ කුමරු වනගත විය. කාලයක් වනයේ විසූ කුමරු මිය ගොස් "ගරා යකා" ලෙසින් උපන්නේය. සමාජයේ ජනප්‍රිය "ගරා යකා ලෙස හදුන්වන්නේ මොහුය.

මෙයට අමතරව සමාජයේ තවත් මේ සම්බන්ධ ජනප්‍රවාදයක් ඇත එනම්, ගිරි ලෙනෙහි සැගවූ කුමරිය දැක බලා ගැනීමට තරුණ වියට පැමිණි කුමරුට අවශ්‍ය විය. දෙමාපියන්ගෙන් කෙතරම් ඉල්ලීම් කළද අවසර නොලැබුණු නිසා දළ කුමරු බොරු ලෙඩක් මවා ගත්තා.

කෙසේ හෝ ගිරි ලෙනෙහි සගවා ඇති තම සහෝදරිය වූ ගිරි කුමරිය දැක බලා ගැනීමට අවසර ලබාගත් දළ කුමරු ඇය දැකීමෙන් ඇගේ රූපය නිසා රාගයෙන් මුසපත් කුමරු කෙසේ හෝ ගිරි කුමරිය පොළබවාගෙන ඇය සමග අනාවැකි කරුවන් කී පරිදිම සංවාසයේ යෙදුනේය.

"රන්දම් සේ අත්දෙක අල්ලාගෙන...
කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන...
මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන...
රන් තලි මද යුද හැසුරුනු කැන්දන..."


තම සොහොයුරා අතින් කෙලෙසුණු ගිරි කුමරිය ගෙල වැළලා සියදිවි හානි කර ගත්තේය.


- මයුරපාද මිතුරෝ -

සියදිවි හානි කරගත් කුමරිය පිළිබඳ තොරතුරු ලැබුණු කුමරු ඇය සොයා ගිය අතර ඒ වන විටත් ඇගේ සිරුර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සගවා තිබුණි.

ඒ නිසා ගිරිකුමරියගේ සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකි විය, ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස ගම්බිම් පාළුකරමින් සතුන් මරා දමමින් ගමන් කළේය.

මෙසේ මිනිසුනට වන හානිය දුටු ශක්‍රයා දළ කුමරුට කුමරියගේ සිරුර පෙන්වා පසුව ඇගේ පණ පිහිටුවා ශක්‍ර භවනට ගෙනගියේයැයි කියවේ.

" ඔසරි පොටෙන් ඇයගත පිරි මැදලා...
තිසරු ලෙසින් පියයුරු දෙක දැකලා...
වියරු වකින් වත සිඹ සනසා ලා...
කියති ඉතින් දෙන් පණ පිහිටා ලා..."


ගිරි දේවිය වරක දේවතාවියකි වරක යක්ෂණියකි. එසේම දළකුමරා වරක දෙවියෙකි වරක යක්ෂයෙකි. . ඔවුන් දෙදෙනාටම වෙන්වූ දේවාල ලංකාවේ කිසි ස්ථානයක නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පලත්වල පුද ලබති.


- මයුරපාද මිතුරෝ -

දළකුමරුට සියලුම කැතකුනු කිලි ඉවත්කිරිමේ බලයක් ඇත . එම බලය ලැබුනේ තම එකකුසින්ම උපන් සොහොයුරිය සමග සංවාසයේ යේදිම නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු බලි තොවිල් අවසානයේ ගරායාකා පුදකිරිම සිදුකෙරේ . සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුනක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරිමටයි.ඔහුට ඇස්වහ කටවහ නැතිකිරිමට බලයක් ඇතිබව ගැමි විශ්වාසයි.

ගරා යකා


ගරා යකා අවතාර දොළසකින් පෙනී සිටින බව පැවසේ.

01. කීල ගරා 
02. සෝලන් ගරා
03. මෝලන් ගරා
04. අදුන් ගරා
05. සදුන් ගරා
06. පට්ටි ගරා
07. ඔකද ගරා
08. ජල ගරා
09. පුෂ්ප ගරා
10. සොහොන් ගරා
11. වට ගරා
12. කොට ගරා



එමෙන්ම ද්වේශය මුල් කර ගනිමින් මියගිය ගිරි දේවිය දුෂ්ඨ යක්ෂණියක්ව ගිරි ලියෝ දොළසක් ලෙසින් අවතාර මවා පාන බව කියවේ.

01. මදනගිරි
02. හපුමල් ගිරි
03. බාලගිරි
04. මෝලන් ගිරි
05. භූත ගිරි
06. නීල ගිරි
07. රත්න ගිරි
08. හඳුන් ගිරි
09. පට්ට ගිරි
10. කොට ගිරි
11. අඳුන් ගිරි
12. වලියක් ගිරි

ලදරුවන් නිතර නිතර, අධික ශබ්දයකින්, දිගු වේලාවක් හැඬීම බාලගිරි දෝෂය ලෙස සිංහලයන් හඳුන්වයි.


- මයුරපාද මිතුරෝ -

කුඩා දරුවන් ඉපදී මාස 03 ක කාලයක්‌ දක්‌වා පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දකිතැයි වැඩිහිටියෝ සිතයි. වැඩි කාලයක්‌ නින්දෙන් ගත කරන සිඟිත්තෝ අඬන බව, සිනාසෙන බව අප නිතර දකියි. ඒ වගේම නිතර ඇස්‌ දෙක උඩ හොවාගෙන සිටීම, මව්ගෙන් කිරි ඉල්ලා ඇඩුම, වෙනකෙකුට දරුවා සනසාලිය හැකි වුවත් මව්ට නොහැකි වීම, ඇස්‌ උඩ හිදුවා නිතර ඇඬිම ආදී නොයෙකුත් දෑ අප දැක ඇත. මෙයට අප බොහෝ දෙනෙක්‌ "බාලගිරි දෝෂය" යෑයි කියති.

ඉපදී මාස 12 ක කාලය තුළ දී එක්‌ එක්‌ මාසයට යක්‌ෂ යක්‌ෂනියන් දොළොස්‌ දෙනෙකු දරුවන් වෙත එළෙඹ මෙසේ දරුවන් බියගැන්වීම්, වඩා ගැනීමට තැත් කිරීම් ආදී දෑ කරන බව පොත පතෙහි සඳහන් වේ. බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, අඳුන්ගිරි යනාදි යක්‌ෂ යක්‌ෂනියන් මේ කාලයේදී දරුවන් බිය ගන්වමින් නොයෙක්‌ දෝෂ කරන බව කියවේ.



යක්‌ෂනියන් දරුවන්ට කිරි පෙවීම, පහරදීම බිය කිරීම ආදී දෑ කරන බවද අලි ඇතුන් ආදී සතුන් පාගා මරා දමන දර්ශන සිහිනෙන් දරුවන්ට පෙනීමට සලස්‌වන බවද විස්වාස කෙරේ.

" බිළිඳු වඩා රෑ සිහිනෙන් කිරි පෙව්වා...
විරිදු පොළොං අලි වලසුන් පෑගෙව්වා...
සිනිඳු ඇඟේ ඇඟ වයිරන් නැංගෙව්වා...
මෙබඳු දෝෂ ගිරි යකු කල දුරලැව්වා... "


මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට නිතර රතන සූත්‍රය භාවිතය, රතන යන්ත්‍රය සාදවා කොට්‌ටයට පැළඳවීම, කරනු ලබයි. ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අල්ලනු ලැබේ. එම අබ, සුවඳ කොට්‌ටං, පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්‍රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් දරුවාට සහනයක්‌ ලැබේ.


- මයුරපාද මිතුරෝ -

තවද "බාලගිරි අද නොවේ හෙටයි" යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද කරනු ලබයි.

වර්තමානයේද අනුරාධපුර , පොලොන්නරුව ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්මයක් ඉඩෝර කාලයන්හී සිදු කරයි. ඒ වර්ෂාව ලබා ගැනිමට සදහා. දළකුමාරයාගේ සහ ගිරි දේවියගේ නිරුවත් රූප දෙකක් අඹා අඳුර වැටෙත්ම දෝලාවකින් වැව්පිටිය වෙත ගෙනයනු ලබයි. අනතුරුව කවි කීයමින් නටා මොහොතකින් නිරුවත් රූප දෙක එතැන හුදකලා කර ගමට පියමං කරතී. මෙය දළ කූමාරයාගේ හා ගිරි දේවියගේ බල්ලිය නමින් හැන්දින්වේ.

වර්තමාන නවීන ලෝකය කොතරම් මෙවන් විස්වාසවලින් මිදී සිටියද, බාලගිරි දෝශයට පිළියම් යෙදීම වර්තමාන සමාජයේත් සුලභ දසුනක්...


*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment