" මහත්තයාගේ සහායට බෝට්‌ටුවේ ගියපු තුන්දෙනාගෙන් දෙන්නෙකුත් දියේ ගිලිලා මැරුණා. මමත් දරුවෙක් ලැබෙන්න ඔන්න මෙන්න තිබුණත් ඒ මළසිරුරු බලන්න මෘත ශරීරාගාරයට පවා ගියා. අපටත් දරුවෝ ඉන්න නිසා ඒ මළ සිරුරු දැක්‌කම වාවන්න බැරි තරමට දුකයි. මළ සිරුරු 35 ක් නම් ගම් සහිතව තිබුණා. 34 ක අයිතිකාරයෝ හිටියා. අයිතිකරුවෙක් නැති සිරුරුත් එක්‌ක ඔක්‌කොම මළ සිරුරු 36 ක් තිබුණා. මියගිය ඔක්‌කොම අය අවුරුදු පහළව දාසය වගේ වයස 18 ට පහළ පිරිමි අයයි ".
මේ එක්තරා පුවත් පතකට හැන්නදිගේ සෝමසිරි මහතාගේ බිරිඳ සෝමාවතී මහත්මිය දැක්වූ අදහස්.
සෝමසිරි යනු 1977 වසරේ වෙසක් පොහොය දින එනම් මැයි මස 3වන දින "ආසයි බයයි" බෝට්ටුව අනතුරට ලක්වූ අවස්ථාවේ එම යාත්‍රාව පැදවූ පුද්ගලයාය.
සෝමසිරි මහතා |
ඇන්ටන් ජොන්ස් මහතා ගායනා කරන වේග රිද්මයේ ගීත අතර ජනප්‍රිය මේ ගීතය ඔබ හොදින් අසා ඇති බව නම් නිසැකයි.
සයුරු බලා බඳ ළෙලවා
ඉවුරුතලා ගලා ගියා
මාතර ගං කොමළි නිල්වලා...
එතෙර සිටිය අය කැඳවා
මරු තුරුළට අරන් ගියා
මුළු සිරිලක දුකෙහි ගිල්වලා...
''...ආසයි... බයයි...
ඒ බෝට්‌ටුවේ නමයි...''
යළිනොම එන්නට ගිය ගමනයි.
දිය රකුසයි - ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිළිගත්තයි
වසර 40කට පෙර සිදුවූ මෙම ගීතය ලියවුණු සත්‍ය සිදුවීම ගැන මෙම ලිපියෙන් කතා කතා කරන්න අප බලාපොරොත්තු වෙනවා.
එදා වෙසක් පොහොය දවස නිසා බොහෝ පිරිසක් වෙසක් සිරි නරඹන්න මාතර නගරයට එකතු උනා. නිල්වලා ගඟේ බෝට්ටු සවාරියක් යන්නත් බොහෝ පිරිසක් උත්සාහ කලේ පුංචි විනෝදාස්වාදයක් ලබාගන්නයි.
මාතර ප්‍රධාන බස්‌නැවතුම්පළ පෙනෙන මානයේ මාතර නිල්වලා ගඟ තරණය පිණිස ඇති මහානාම මහ පාලම අසලින් බෝට්‌ටු වලට නංවා ගන්නා පිරිස් ගඟදිය ඔස්‌සේ නිල්වලා ගඟ මුහුදට වැටෙනා තොටමුණ දෙසටත් එතැනින් ආපසු හරවා නැවත මහානාම පාලම යටින් ගොස් පීක්‌වැල්ල විහාරස්‌ථානය දෙසටත් කිලෝමීටර දෙකක පමණ දුරක් සංචාරය කිරීම මේ බෝට්ටු චාරිකාව විය. මෙම චාරිකාව සදහා එකල අයකළ මුදල සත විසි පහකි.
ආසයි බයයි කියන්නේ එම්. ජී. 10 වර්ගයේ අඩි 32 එක්‌දින ධීවර යාත්‍රාවක්. බෝට්‌ටුවේ නිල්පාට, රතු පාට, සුදු පාට ආලේප කර තිබූ අතර නිල් පාට තීරුවේ සුදු පාටින් "ආසයි බයයි" ලෙස සදහන් කර තිබුනා .
😎මයුරපාද මිතුරෝ😎
එදින දෙවරක් චාරිකා කළ "ආසයි බයයි" යාත්‍රාව 3වන චාරිකාව සදහා සූදානම් උනා. චාරිකාව සදහා එක්වූ වැඩි පිරිසක් තරුණයන්වන අතර අදාල ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් බලෙන්න බෝට්ටුවට ගොඩවෙනකොට ප්‍රශ්පරාණී සහ ඇයත් සමග තවත් එක් අයෙකුද මේ චාරිකාවට එකතුවුණා.
" මේ වෙනකොට වෙලාව හවස පහමාරට විතර ඇති. බෝට්‌ටුව ගඟ උඩහට ගෙනිහින් පීක්‌වැල්ල පන්සල හරියෙන් මම ආපහු බෝට්‌ටුව හැරෙව්වා. බෝට්‌ටුව ආපහු හරවන හරියේ පන්සල පැත්තේ ගං ඉවුරේ ලොකු කෝන් ගහක් තිබුණා. ඒ කෝන්ගහේ බරට ගෙඩි හැදිලා කෝන් ගෙඩි පිරුණු කෝන් වලු බරට බරේ පහලට එල්ලෙමිනුයි තිබුණේ.
දැන් බෝට්‌ටුව හැරවෙන්නේ ඒ කෝන් ගහ යටිනුයි. ඒ වෙලාවේ බෝට්‌ටුවේ ගියපු කට්‌ටියම එකසැරේ තරෙඟට වගේ අර කෝන්ගෙඩි කඩන්න බෝට්‌ටුවේ එක පැත්තකට රොක් වුණා. එක පැත්තට කුට්‌ටි ගැහෙන්න එපා බෝට්‌ටුව පෙරළේය කියලා මම විලාප ගැහුවා. කොහේද?... කියලා කට ගන්න ලැබුණෙ නෑ එතකොටම ඇලවෙච්ච පැත්තෙන් බෝට්‌ටුවට වතුර දැම්මා.
මට දෙවියන් සිහිවුණා. එසැනින් බෝට්‌ටුව තව තවත් ඒ පැත්තටම ඇලවුණා. කට්‌ටිය මරහ`ඩ තලනවා ඇහුණා. පෙරලෙන බෝට්‌ටුවේ කවුදෝ මට කීවා අය්යේ මාව බේරගන්න කියලා. එසැනින් මම කෝන්ගහේ අත්තක එල්ලිලා ඒ කෑගහපු දිහාවට අත දික් කරනකොටම කෝන් අත්තත් කඩාගෙන මම ගඟට වැටුනා. මට මතක එච්චරයි....
මට සිහිය එනකොට නාහෙන් කටින් බට හයිකරලා මාතර මහ ඉස්‌පිරිතාලෙ ඇඳක මම දිගා කරලා තිබුණා...''
මේ යාත්‍රාව පැදවූ සෝමසිරි මහතා එදින අත්දැකීම විස්තර කළ ආකාරයයි.
මෙම සිදුවීම නිසා එවකට සිරිමාවෝ බණ්‌ඩාරණායක අගමැතිනියගේ රජය පසු දිනය ශෝක දිනයක් ලෙස නම් කරා.
35ක් පමණ ජීවිත බිලිගත් මෙම සිදුවීමෙන් මියගිය බොහෝ දෙනා වයස අවුරුදු 16 - 20ත් අතර විය.
😎මයුරපාද මිතුරෝ😎
අනතුර නිසා සෝමසිරි මහතාට දින 14 ක් පොලිස් අත්අඩංගුවේ ද පසුව බන්ධනාගාරගත කළා. ඊට දින ගණනාවකට පස්‌සේ ශරීර ඇප මත නිදහස ලැබුවා.
1977 මැයි 30 දින පැවති නඩු විභාගයෙන් ධීවර යාත්‍රාවක අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කිරීමේ වරදට වසර දෙකක් බරපතළ වැඩ සහිතව දඩුවම් නියමවන අතර පසුව එය ලිහිල් කර ඇත.
ගිලුණු "ආසයි බයයි" යාත්‍රාව පසු කාලයක ගොඩ ගෙන නැවත ප්‍රතිසංස්කරණ කර " යළි ඉපදේ " ලෙස නම් කර දෙවුන්දර කේ. ඩී. පියසේන යන අයට භාර කරනවා.
*********
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇන්ටන් ජොන්ස් මහතා ගායනා කරන ගීතය පහලින් නරඹන්න.
********
තවත් මෙවන් ගීත ගැන රසවත් තොරතුරු දැනගන්න මයුරපාද මිතුරෝ අපගේ facebook පිටුවට එකතුවන්න.
👌
ReplyDelete