බංඩාර ඇහැලියගොඩ මහතාගේ සැබෑ අත්දැකීමකට ලියවුණු ගීතයක් ගැනයි අද අපි කතා කරන්නට හදන්නේ, තරුණ පරපුරේ අයට නම් මේ ගීතය ගැන වැඩි අවබෝදයක් නැතිව ඇති නමුත් ඔබ සුනිල් එදිරිසිංහ මහතාගේ රසිකයෙක් නම් නිසැකවම මේ ගීතය ඔබට හුරු පුරුදු ගීතයක්.
බංඩාර ඇහැලියගොඩ මහතා. |
බංඩාර ඇහැලියගොඩ මහතාගේ පියා ඔහු කියන හැටියට කොන්ඩේ බැදපු, අඹුඩ ගහපු ගොවියෙක්. ගොඩ ගොවිතැන් එහෙමත් කරපු බංඩාර ඇහැලියගොඩ මහතාගේ පියා කම්මැලි නැති ගැමියෙක්.
ඉතින් මේ ගමේ පුංචි ගෙදර මිරිස් , එළවළු , පලතුරු හොද හැටි අඩුවක් නැතිව වගා කරලා තිබුනා, කුඹුරෙන් වී ටික වගේම අනිත් අවශ්‍ය දේවල් වත්තෙන් ලැබුණු නිසාම කෑම බීමෙන් නම් කිසිම අඩුවක් තිබුනේ නෑ,
බංඩාර ඇහැලියගොඩ මහතා කියන විදිහට ඒ කාලේ කඩෙන් ගෙනාවොත් ගේන්නේ කරෝල කෑල්ලක් , සැමන් ටින් එකක් වගේ දේවල් කිහිපයක් විතරයි.
- මයුරපාද මිතුරෝ -
කවදාවත් ගේ ඇතුළට වෙලා කෑම කාපු නැති බංඩාර මහතාගේ පියා ගෙදර ඉස්තෝප්පුවේ තිබුණු වැල් ඇදට වෙලා තමයි කෑම කෑවේ, ඒ කාලේ මේ ගෙදර මිදුලෙන් ගමේ මිනිස්සු එහා මෙහා යනවලු. පාරක් තිබුනක් මේ මිදුල මැදින් ගමන කෙටි නිසා ගම්මු පහසුවට මේ මිදුල භාවිතා කරාලු.
ඉතින් මේ එලියේ කෑම කන බංඩාර මහතාගේ පියා කෑම කන අතරතුර මේ මිදුල මැදින් යන අයටත් කන්න කතා කරනවා, ඒ නිසාම කෑමට අමුත්තන් දෙතුන් දෙනෙකුත් වැරදුනේම නැහැ. ඉතින් ගෙදර හැදුනු කෑම වේලත් ගෙදර පිරිසට අමතරව කවත් කිහිප දෙනෙකුට සෑහෙන්න පිළියෙළ වෙනවා.
කොහොම හරි මේ බංඩාර මහතාගේ පියා මියගිය පසු මලගෙදරටත් විශාල පිරිසක් එනවා, මලගෙදර ආපු ගොඩක් අය කියපු දෙයක් තමයි " ගමටම කන්න දීපු මනුස්සයා " කියලා.
- මයුරපාද මිතුරෝ -
මලගෙදර වැඩකටයුතු ඉවර උනාට පස්සේ මාලබේ තිබුනු බංඩාර මහතාගේ ගෙදරට එන්න බස් එකට ගොඩවුණු බංඩාර මහතාට මේ මලගෙදර ආපු පිරිස් තමන්ගේ තාත්තා ගැන කියපු දේවල් විටෙන් විටේ මතක් වෙනවා..
ඉතින් බංඩාර මහත්තයා කල්පනා කරනවා මාසේ පඩියකට , කුලී ගෙදරක කොළඹට වෙලා ඉන්න හැටි, නිවසට අවශ්‍ය හැම දෙයක්ම ගන්න උනේ සල්ලි වලට ගන්න වෙන හැටි, මේ හැම දේකටම වියදම් කරාම මාසේ අන්තිමට ඉතිරි වෙන දෙයක් නෑ.
බංඩාර මහතා මේ තමාගේ වර්තමාන තත්වයයි තාත්තා ගමේ ගතකරපු තත්වයයි ගැන ගොඩක් හිතනවා. ගේ ඉස්සරහාට වෙලා පාරේ යන අයටත් කන්න දුන්නා තාත්තා, ඒත් කොළඹ ජීවිතයේදී ඒ දේවල් ඒ විදිහට කරන්න බංඩාර මහතාට හැකියාවක් නෑ. කෑම කන්නත් උනේ ගෙදර දොර ජනෙල් වගගෙන. මොකද ඒ තරමටම වියදම සැරයි.
ඉතින් මේ සිදුවීමට තමයි මේ වන්නි වන පෙතේ කියන ගීතය 1985/86 වගේ තමයි ලියවෙන්නේ. ඒ හටන් කවි ආකාරයටයි.
රෝහන වීරසිංහ මහතාගේ සංගීතය එකතු වෙච්චි මේ ගීතය සුනිල් එදිරිසිංහ මහතාගේ කටහඩින් පණ ලබනවා...
- මයුරපාද මිතුරෝ -
බංඩාර මහතාගේ ජීවිතයේ ඔහුගේ තාත්තා සහ ඔහුගේ ජීවිතය එක් කොට නිර්මාණය වූ මේ ගීතය වර්තමානටත් යම් ගැලපීමක් තියෙනවා...
වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..
කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..
වන්නි වන පෙතේ...
කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..
වන්නි වන පෙතේ...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ
ගීතය රසවිදින්න පහතින්..
සිංදු ගැන කතාබහට තවත් ගීතයකින් හමුවෙමු.
*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.